කවියකට පෙරවදන

රත්න ශ්‍රී විජේසිංහ
VAPA ප්‍රකාශනයක්.

මිල රු.800/= වට්ටම 25%
ප්‍රමාණය මි.මි. 210 x 145 (ඩිමයි 1/8)
ඇතුළත ආදේශිත සුදු කඩදාසි 80 gsm
ජැකට් කවර, සෙක්ෂන් මැස්ම, පිටු 444 යි.
ISBN 978-624-5785-07-0
කෘතියේ බර 526g

ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ නව කවි පරපුර උදෙසා ලියාදුන් කවිපෙරවදන් සම්ප්‍රදානය සේම නවකවි විචාර විලාසය නූතන ම සිංහල කවිය හඳුනාගැනීමට කදිම කැඩපතකි. දසක හතරකට වැඩි කලක් රත්න ශ්‍රී කවියා නූතන කවි – කිවිඳියන්ගේ කාව්‍ය කෘති පිණිස පෙරවදන් සම්පාදනයේ නිරත වූයේ ද නිස්සරණද්ධ්‍යාශයෙනි. එලෙස ගොඩනැඟුණු ශාස්ත්‍රීය විමසුම් ඇස තියුණු කවි විචාර සැතකි. ඇගයුම් – විමසුම් – හෙළිදරව් කිරීම් සේම නිවැරදි දිශානති පෙන්වීම් ඔස්සේ නව කවි පරපුරට පෙරවදන් සැපයීම දුෂ්කර වෑයමක් වුවද එයින් ගොඩනැඟුනු නව කවියේ විචාර කෝදුව කෙතරම් දිගු දැයි මෙතෙක් විමංසනය නොකිරීමේ දුබලතාවට ශාස්ත්‍රිය පිළිතුරක් වාපා යුනිවර්සිටි ප්‍රෙස් මඟින් සපයා ඇත. ඒ කවියකට පෙරවදන කෘතියෙනි.

දසක හතරක් – නව කවි – කිවිඳියන් 500කට වැඩි පිරිසකට කාව්‍ය පෙරවදන් සම්පාදනය කළ ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහගේ කැපවීම හඳුනා ගැනීම පිණිස “කවියකට පෙරවදන” කෘතිය සම්පාදනය කළේ, නූතන කාව්‍ය අභිවෘද්ධියට සේම කාව්‍යකරණයට ආශක්ත සහෘදයින්ට නව කවියේ හැඩ හුරුකම් හඳුනාගැනීමේ ආධාරයක් ලෙසිනි.

කවි කිවිඳියන් 80 දෙනෙකුගේ නිර්මාණ කෘති හරස් කැපුමක් ලෙස “කවියකට පෙරවදන” පොතේ පළමු අන්තර්ගතය පෝෂණය වී ඇත. කවි විමසුම ඉතා වෙහෙසකර සාහිත්‍ය ව්‍යාපාරයක් වන්නේ, කවිය සියුම් කලාංගයක් බැවිනි. කවියකට පෙරවදන ඇසුරු කරන විට ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ කවියාද, කාව්‍ය විමර්ශකයාද, සාහිත්‍යසේවියාද එකවර හඳුනාගැනීමේ දුලබ අවස්ථාව මෙම කෘතියෙන් අත්වෙයි. භාරතීය කාව්‍ය විචාර සිද්ධාන්ත අතැඹුලක් සේ දත් රත්න ශ්‍රී කිවිඳු පෙර – අපර දෙදිග කාව්‍ය විචාර විමැසුම් ඔස්සේ නව කවින්ගේ කාව්‍ය රීතීන් විචාරයට ලක් කරමින් සම්පාදනය කළ කාව්‍ය පෙරවදන් එක් මිටකට ගොනුවීම මඟින් 80 දශකයෙන් පසු නූතන කවිය හඳුනා ගැනීමට කදිම අත්පොතක් මෙමඟින් සම්පාදනය වෙයි.

කවිය පිළිබඳව කුමන ආකාරයක හැදෑරීම් තිබුණද විශ්වවිද්‍යාලයීය විමසුම් හා පර්යේෂණ ඉදිරිපත් වුවද “කවියකට පෙරවදන” කාව්‍ය ඇගයුම් කෘතිය ඇසුරු කරන සහෘද පාඨකයාට රත්න ශ්‍රී කවියාගේ නව කවි හැදැරීම කෙතරම් සියුම් ආයාසයක්දැයි වටහාගත හැකිවනු ඇත. විවිධ කාව්‍ය විචාරකයින් කවිය පිළිබඳ ඔවුන්ගේ මත – සංවාද වරින් වර ඉදිරිපත් කළද “කවියකට පෙරවදන” ඒ සියලු විමසුම් කෘති පරයා නූතන ම කවියේ ස්වාධීන අනන්‍යතා ලක්ෂණ හඳුනාගැනීමට කදිම අවස්ථාවක් වන්නේ විවෘත ආර්ථිකයෙන් පසු ලාංකේය පරිභෝජනවාදී – සමාජය විනිවිද දුටු කවි සලකුණු හඳුනාගැනීමට මේ කෘතිය උපයෝගීවන හෙයිනි. කවියේ ගැඹුර දාර්ශනික ආස්ථානයක සිට සරල ලිහිල් කියමන දක්වා පැතිරී යන රිද්මය රත්න ශ්‍රී කවියක් සේ සොඳුරු බස්වහරකින් සුපෝෂණය කිරීමේ නිර්ව්‍යාජත්වය මොනවට පැහැදිලි වේ.

80 පසු නූතන සිංහල කවිය හඳුනාගැනීමට නම් “කවියකට පෙරවදන” කියවිය යුතුම ය. නව කවියේ චින්තන – වින්දන ශක්‍යතා හඳුනා නොගෙන කවි විචාර ලිවීම හෝ කාව්‍ය රසාස්වාදනය කිරීම නිෂ්ප්‍රයෝජනවත් වැඩක් වන බව “කවියකට පෙරවදන” ඔස්සේ ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ නිදර්ශනාත්මක ව පෙන්වා දෙනු ලබයි. නව කවියට හිතැති, සැමට අත්පොතක් ලෙස “කවියකට පෙරවදන” හඳුන්වා දිය හැකි ය.

80 දසකයෙන් පසු කාව්‍යකරණයේ නියැලෙන ප්‍රවීණ කවි – කිවිඳියන්ගේ සිට ආධුනික කාව්‍ය රචකයන් දක්වා 40 වසරක නව කවියේ ගමන් මඟ හඳුනාගත හැකි කාව්‍ය විමර්ශන කෘතියක් මෙතෙක් බිහි නොවීමේ අඩුව “කවියකට පෙරවදන” කෘතිය මඟින් ඉටු කිරීම මේ කෘතියේ තිබෙන විශේෂත්වයයි.

පුරා විද්‍යාත්මක තැම්පතු සකස්වීමේ ක්‍රියාවලිය

අනුවාදක – මහාචාර්ය රාජ් සෝමදේව
VAPA ප්‍රකාශනයක්.
මිල – රුපියල් 450/- වට්ටම 25%
ප්‍රමාණය මි.මි. 210 x 145 (ඩිමයි 1/8)
ඇතුළත ආදේශිත සුදු කඩදාසි 80 gsm.
පිටු 138 – ඇතුළත සිව්වර්ණ ඡායාරූප සහිතයි.
ISBN – 978-624-5785-08-7

කෘතියේ බර 176g

ගෝලීය පුරාවිද්‍යා විෂය ප්‍රවර්ධනය පිණිස පුරාවිද්‍යා විෂයට විද්‍යාත්මක ක්‍රමය හඳුන්වා දුන් කෝනල් සරසවියේ කීර්තිමත් මනවවිද්‍යාඥ මයිකල් බී. ෂිෆර් විසින් රචිත Toward the Identification of Formation of Processes නම් රචනය පුරාවිද්‍යා විෂය පිළිබඳ උනන්දුවක් දක්වන ලෝකවාසී සැමදෙනා ලද ඉතා අගනා මූලාශ්‍ර විමසුමක් ලෙස සම්භාවනාවට පත් වී ඇත. එම ශාස්ත්‍රීය විමර්ශනය සිංහල සමාජයට කෙතරම් අර්ථවත් දැයි හඳුන්වා දීම පිණිස මහාචාර්ය රාජ් සෝමදේව “පුරා විද්‍යාත්මක තැම්පතු සකස් වීමේ ක්‍රියාවලිය” යන මැයෙන් අනුවාදයක් ලෙසින් වාපා යුනිවර්සිටි ප්‍රෙස් මඟින් පළකර තිබෙනුයේ, ශ්‍රී ලාංකේය පුරාවිද්‍යා විෂය ක්ෂේත්‍රයට යෝග්‍යවන අයුරිණි.
පුරාවිද්‍යාත්මක තැම්පතු පොළොවේ සකස්වන ආකාරය නිසි පරිදි වටහා ගැනීම හා ඒ පිළිබඳ ව මූලික අවබෝධයක් ලබා ගැනීම පුරාවිද්‍යාත්මක ක්‍රියාවලියේ තීරණාත්මක අංගයකි. පුරාවිද්‍යාත්මක කැණීම් සිදුකරන විට පුරාවිද්‍යාඥයා විසින් සැලකිලිමත් විය යුතු ඉසව් වෙත සංවේදී වියයුත්තේ කෙසේදැයි යන්න ශාස්ත්‍රීය ලෙස මේ කෘතියෙන් කතුවරයා ද අනුවාදක ද මැනවින් පෙන්වා දී තිබේ. ශාස්ත්‍රීය පර්යේෂණ කෘතියක තිබිය යුතු පර්යේෂණ මූලධර්ම න්‍යාය මෙහිදී යොදාගෙන ඇත.
බහුවිෂයයීය දැක්මකින් යුතු මෙම ලිපිය ශාස්ත්‍රීය පුස්තකයක් බවට පත්කිරීමෙහිලා අනුවාදක රාජ් සෝමදේව අතින් සිදුවන මැදිහත්වීම පුරාවිද්‍යා පර්යේෂකයෙකුගේ සක්‍රිය අත්දැකීම ඇසුරේ ගොඩනැගුණු බව පාඨකයාට වැටහෙයි. පුරාවිද්‍යා අධ්‍යයනයන් පිණිස කෙතරම් සංවේදී ලෙස පූර්ව සූදානම් වීම සිදුකළ යුතු ද යන්න මානවකෘතිවල අන්තර්ගත සරලඅංග ඔස්සේ විවරණය කර ඇත. ඝනත්වය, හැඩය, දිශානතිය, ගිලිහීයාම, හානිවීම හා තට්ටු බැඳීම යන ඉසව් සියුම් ඉසියුම් විමසුම් විය යුතු බව මෙම කෘතිය පෙන්වා දෙයි. එමඟින් නවක හා වෘත්තීය පුරාවිද්‍යා විමර්ශකයින්ට කදිම අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව උදාවේ.
පුරා විද්‍යාත්මක තැම්පතු සකස්වීමේ ක්‍රියාවලියට අයත් සංකල්ප, භාවිත කාලය පිළිබඳ කරුණු, මානව කෘතිවල තැනුම් ඒකක, අසංවිධානාත්මක බව මැනීම, තැම්පතුවල සෙසු අංග හා සංකල්ප පිළිබඳ ව පරිච්ඡේද දහයක් ඔස්සේ ශාස්ත්‍රීය විමසුම් සිදුකර ඇත. ප්‍රමාණාත්මක ව කුඩා කෘතියක් ලෙස හැඟීගියද මූලාශ්‍ර පිවිසුම් ඔස්සේ අධ්‍යයන කරන හෙයින් ඕනෑම තරාතිරමක පාඨකයෙකුට මෙම කෘතිය ගැඹුරු ශාස්ත්‍රීය පර්යේෂණයක සොඳුරු ඵලයක් බව හැඟී යනු ඇත.
අනුවාදක භාවිත භාෂාව සරල ය. එහෙත් ශාස්ත්‍රීය මුහුණුවරින් පොහොසත් ය. මේ භාෂා ප්‍රයෝගය පාඨකයාට කියවීමේ රුචිය වඩවන අතර කෙමෙන් ශාස්ත්‍රීය පර්යේෂණ කෘතියක තිබියයුතු විධිමත් මුහුණුවර එමඟින් හඳුනාගත හැකි ය.
පුරාවිද්‍යාත්මක විෂයට ඇල්මක් ඇති සියලු තරාතිරමේ පාඨකයින්ට “පුරා විද්‍යාත්මක තැම්පතු සකස්වීමේ ක්‍රියාවලිය” අගනා ශාස්ත්‍රීය කෘතියක් ඇසුරු කිරීමේ උසස් රුචිය මෙන්ම නව බුද්ධි කලම්බනයක සොම්නස ද එකවර අත්විඳිය හැකි ශාස්ත්‍රීය පර්යේෂණ ලියවිල්ලකි. එහෙයින් ශ්‍රී ලාංකේය පුරාවිද්‍යාවේ අභිවෘර්ධියට මෙම කෘතියේ විද්‍යාත්මක දැනුම හේතු වාසනා වන බව කිව යුතුය.

යක්කඩුවේ යති සලකුණ

බිහේෂ් ඉන්දික සම්පත්
VAPA ප්‍රකාශනයක්

මිල රු. 900/=වට්ටම් 25%
ප්‍රමාණයමි.මි. 142 x 225 (ඩිමයි1/8)
ඇතුළත ආදේශිත සුදුකඩදාසි 80 gsm
සාමාන්‍ය කවරය
පිටු 392 යි.
ISBN 978-624-5785-09-4
කෘතියේ බර 524 g

උන්වහන්සේ අමුතුම පන්නයේ යතිවරයාණන් වහන්සේ කෙනෙක් වූහ. මුළු රාත්‍රිය ම වාගේ වැඩ කරති. දවල් දානයට පෙර අවදි වූ තැන් සිට අනලස් ව යළිදු වැඩපළවල නිරත වෙති. ඉගෙනීම, ඉගැන්වීම, ශාස්ත්‍රීය සංවාද, මතු නොව පාලන සංවිධාන ආදී අනේකප්‍රාකාර වැඩවල යෙදෙති. කෙස් රැවුල බාන්නට ඇවැසිවන්නේ ද නැතිව ම බැරි විටෙක ය. මෙරට භික්ෂූන් වහන්සේලා අතර උන් වහන්සේට ම අනන්‍ය වූ ගති පොහොසත්කම්වලින් හෙබි යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම හිමිපාණෝ යනු විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ ප්‍රදීපස්ථම්භය ම වන්නාහ. ප්‍රඥාරාම හිමි නාමයෙන් තොරව විද්‍යාලංකාර නාමකරණයක් හෝ සම්ප්‍රදායක් කොහිවෙත් ද? විද්‍යාලංකාර නම් ශාස්ත්‍රීය කුසුම් සම්ප්‍රදානය විකසිත වන්නේ යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම පර්යේෂණ වෘක්ෂය රෝපණය වීමත් සමඟිනි.
එදා – මෙදා විද්‍යාලංකාර ශාස්ත්‍ර පර්යේෂකයින්ට යක්කඩුවේ හිමියන්ගේ ශාස්ත්‍රීය පර්යේෂණ භූමිකාව මඟ හැර යා නොහැකි ය. එහෙයින් උන්වහන්සේ පිළිබඳ ව නූතන ශාස්ත්‍රීය පර්යේෂකයෙකු කුරුලු ඇසින් විමසුම් කළ මාහැඟි විමර්ශන කෘතියක් ලෙස, මහාචාර්ය බිහේෂ් ඉන්දික සම්පත් සම්පාදනය කළ “යක්කඩුවේ යති සලකුණ” හැඳින්විය හැකි ය.
යක්කඩුවේ හිමියන් සම්බන්ධයෙන් නූතනයින්ට සේම අනාගත පාඨක ලෝකයට ද ශාස්ත්‍රානුකූල, හැඳිනගැනීමකට කදිම අත්වැලක් මේ ශ්‍රාස්ත්‍රීය කෘතිය මගින් පළ කරයි. මාහිමිපාණන්ගේ ජීවන වතගොත, ආගමික සේවය, අධ්‍යාපන මෙහෙවර, විද්‍යාලංකාර සම්ප්‍රදාය හා විද්‍යාර්ථියාගේ සැබෑ භූමිකාව යන මූලාශ්‍ර විමර්ශන අඩවි රැසක් ‘යක්කඩුවේ යති සලකුණ’ කෘතියෙන් නිරූපණය වේ. උක්ත තොරතුරු ගෙනහැර දැක්වීමේ දී කරුණු ; කරුණු ලෙස ඉදිරිපත් කරනවට වඩා අදාළ කරුණු පිණිස හේතුවන පසුබිම් දත්ත තාර්කීය පදනමකින් දැක්වීම කෘතියේ විශේෂත්වයකි.
යක්කඩුවේ හිමියන්ගේ දේශපාලන, සාහිත්‍ය, ආගමික හා සමාජ භූමිකාවන්, අපක්‍ෂපාතීව වටහා ගත හැකි අයුරින් තර්කානුකූලව කතුවරයා කරුණු දක්වන්නේ ද යක්කඩුවේ හිමියන්ගේ පර්යේෂණ වටිනාකම් මතුවන සේ බස සුමට ය. කරුණු තාර්කික ය. දැක්ම විදුහුරු ය. අදාළ මූලාශ්‍ර විග්‍රහය මගින් පර්යේෂණ සත්‍ය මතු කිරීමට දායක වීම මේ කෘතියේ ඇති අනන්‍යතාවයකි.
රසවාද විචාරය හා සාහිත්‍ය විචාර මතවාද ගුත්තිල විචාරය, බවතරණ විචාරය හා විචිර ක්‍රමය පිළිබඳ ව යක්කඩුවේ හිමියන්ගේ පර්යේෂණ චිචාර මතවාද නූතනයට කදිමට වලංගුවන වග මහාචාර්ය බිහේෂ් මෙම පර්යේෂණ කෘතිය මගින් තහවුරු කරයි. එසේ ම යක්කඩුවේ හිමිපානන්ගේ භාෂා අනන්‍යතාවය හා සාහිත්‍යදෘෂ්ටිය හඳුනාගැනීමට මේ කෘතිය කදිම අත්වැලකි. ප්‍රවේශයේ සිට උපග්‍රන්ථය දක්වා උල්ලාස 14ක් ඔස්සේ, ‘යක්කඩුවේ යති සලකුණ’ පෝෂණය වී තිබෙනුයේ, සමාජ ශාස්ත්‍රීය පර්යේෂණ භූමිකාවක වටිනාකම හා යක්කඩුවේ හිමියන්ගේ ස්වාධීන මතවාද විශ්වසනීය ලෙස පාඨකයාට නිරූපණය වන ලෙසිනි. විචාර විචාරය එදාටත් වඩා අද දවසට යෝග්‍ය බව කෘතිය ඇසුරුකරන පාඨකයින්ට තර්කානුකූලව වටහාගත හැකි ය. ශාස්ත්‍රීය පර්යේෂණ හා විචාර මතවාද අධ්‍යයනය කරන පාඨකයන්ට සේම විද්‍යාර්ථීන්ට අගනා කෘතියක ලෙස ‘යක්කඩුවේ යති සලකුණ’ හඳුන්වාදිය හැකි ය.
විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ අඩිතාලම හඳුනාගැනීමට නම්, යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම හිමියන්ගේ භූමිකාව නිවැරදි ලෙස වටහාගත යුතු ය. “යක්කඩුවේ යති සලකුණ” ඒ සඳහා නූතනයින්ට මඟපෙන්වන කදිම අත්පොතකි.

කෙටිකතා නිර්මාණාවලෝකන

කීර්ති වැලිසරගේ
VAPA  ප්‍රකාශනයක්

මිල රු. 450/= වට්ටම් 25%
ප්‍රමාණයමි.මි. 210 x 145 (ඩිමයි 1/8)
ඇතුළත ආදේශිත සුදුකඩදාසි 80 gsm
සාමාන්‍ය කවරය
පිටු 184 යි.
ISBN 978-624-5785-11-7
කෘතියේ බර 258 g

මනුෂ්‍යත්වය ගවේෂණය කිරීම කෙටි කතාවේ පරම චින්තාව යැයි තර්ක කළ හැකි ය. එය මානව චින්තනයේ අක්මුල් සොයා යාමකැයි තවත් ප්‍රතිතර්කයක් නැඟීමට ද හැකි ය. කෙටිකතාව විග්‍රහ කිරීම හෝ කෙටිකතාවේ මාදිලිය මේ යැයි විග්‍රහ කිරීම දුෂ්කර වී ඇත්තේ ඒ තරමට කෙටිකතාව, එහි තේමාවන්, හා ආකෘතික සම්බන්ධතා ආදී න්‍යායාත්මක පදනම සතු සූක්‍ෂමතා කෙටි කතාවෙන් – කෙටිකතාවට වෙනස්වන බැවිනි.
මෙරට කෙටිකතාවේ නිර්මාණාවලෝකය ගැඹුරු අධ්‍යයනයකට නතු කිරීමට ගත් සාර්ථක ප්‍රතිඵලයක් ලෙස කීර්ති වැලිසරගේ ප්‍රදානය කරන ‘කෙටිකතා නිර්මාණාවලෝකන’ කෘතිය පෙන්වා දිය හැකි ය. එය කෙටිකතා රචකයින්ට, ආධුනික කෙටිකතාකරුවන්ට උසස් අධ්‍යයන පිණිස කෙටිකතා හදාරණ විද්‍යාර්ථීන්ට ඉතා ප්‍රයෝජනවත් කෘතියකි. ලාංකේය කෙටිකතාවේ න්‍යායාත්මක පදනම හැඳිනගැනීමට මේ කෘතියෙන් ලැබෙන ශ්‍රාස්ත්‍රීය දායකත්වය ඉතා ඉහළ ය.
සාර්ථක කෙටිකතාකරුවෙකු ලෙස තමා ලත් නිර්මාණ පරිචය උපයෝගී කරගෙන කීර්ති වැලිසරගේ හෙළන දෘෂ්ටිය කෙටිකතා නිර්මාණාවලෝකන කෘතිය බිහිවීමට පදනම සපයා ඇත. වත්මන් සිංහල කෙටිකතා දෙස මෙතරම් ගැඹුරින් සිදුකරන න්‍යායාත්මක විග්‍රහයක් පළ නොවීමේ ඌනතාවය මෙයින් මඟ හැරී යාම මේ කෘතියේ විශේෂත්වයකි. කෙටිකතාවේ නව්‍ය මිනුම්දඬු ඔස්සේ කුරුලු ඇසකින් කෙටිකතාව කියැවීමට පාඨක සමාජය පොළඹවන කදිම අත්වැලක් කෘතියෙන් සපයයි. කතාකීමේ කලාවෙන් ආරම්භ වූ කෙටිකතා කලාව පිළිබඳ ව සරු අරුත් විමසුමක් පළමු උල්ලාසය මඟින් ගොඩනඟා තිබේ. ඒකාකාරී හෝ පටු පුද්ගලබද්ධ වැනුම් ඔස්සේ කෙටිකතා පිළිබඳ වර්ණිත කෘති අතර මේ කෘතිය තරම් ගැඹුරට එකී නිමැවුම් බිහි නොවීමේ දුර්වලතාවය ද ‘කෙටිකතා නිර්මාණාවලෝකන’ කෘතිය මඟින් හැඳිනගත හැකිවීම විශේෂත්වයකි.
කෙටිකතාකරුවෙක් වීමට යමෙක් තුළ මනාපයක් හෝ ඇල්මක් තිබේ නම් කෙටිකතාකරණයේ න්‍යයාත්මක ඥානමණ්ඩලය පු`ඵල් වීමට, කේන්ද්‍රාභිසාරී චලනයක පරම නිෂ්ඨාව කදිම අනුබලදීමකි. කතුවරයාගේ අත්දැකීම් විසින් සමාජගත කරන ලද නව මතවාද මණ්ඩපයකට අවශ්‍යය අඩිතාලමක් ලෙස ද මෙම මූලාශ්‍රයෝ හැඳිනගත හැකි වෙති. පරිකල්පනයේ යාන්ත්‍රණය, කෙටිකතාවේ භාෂාව නිතර සංවාද; පරිසංවාද මඩුලුවල ලෙළදෙන තේමාවක් රැගෙන නව්‍ය මතවාද පිණිස කදිම තෝතැන්නක් කතුවරයා විසින් ගොඩනඟා තිබේ. ‘සිංහල කෙටිකතාවේ සුවිශේෂී වකවානුවක්’ යන මැයෙන් සයවන උල්ලාසය මගින් තහවුරු කරන කෙටිකතාවේ නව සොයාගැනීම් ඉතා ඉහළ අගයක් ගනියි.
බහුඅරුත් නංවන කෙටිකතාව, සහ රූපාන්තරණය වූ කෙටිකතා, මෙන් ම නූතන සිංහල කෙටිකතා සාහිත්‍යයට බලපෑ ජනශ්‍රැති සන්දර්භයක් හා පුරාණෝක්ති පසුබිම් ආශ්‍රිත විග්‍රහයන් ඔස්සේ දක්වන න්‍යායාත්මක එළඹුම කෙටිකතාව සතු ගැඹුරුතර පසුබිම ශාස්ත්‍රය ලෙස විග්‍රහ කිරීමකි. කෙටිකතාවේ අන්තර්ගතය, ආකෘතිය සහ දෘෂ්ටිවාදී දැක්ම ඇසුරින් නූතන කෙටිකතා විග්‍රහයට ගවේශනාත්මක දැනුම් පද්ධතියක් කතුවරයා විසින් සම්පාදනය කරනු ලබයි. නූතන සිංහල කෙටිකතාව යනු මේ යැයි හඳුනාගැනීම එය මනා පිටුබලයකි. නූතන සිංහල කෙටිකතාව වූ කලී හුදෙක් වාච්‍යාර්ථයට අරුතට වඩා ගැඹුරු ආකෘතිකාලංකාර භාවිතයට ගැනීමක් නොව ගැඹුරු ජීවන අභ්‍යාසයක වෙහෙසකර වින්දනයක් වග ‘කෙටිකතා නිර්මාණාවලෝකන’ මගින් වටහා ගත හැකි වේ.

දෙවියන්ගේ දූපත්

රෝහණ පී.මහලියනආරච්චි
VAPA ප්‍රකාශනයක්

මිල රු. 500/= වට්ටම් 25%
ප්‍රමාණයමි.මි. 142 x 225 (ඩිමයි 1/8)
ඇතුළත ආදේශිත සුදු කඩදාසි 80 gsm
ජැකට් කවරය
පිටු 206 යි.
ISBN 978-624-5785-10-0
කෘතියේ බර 320 g

ස්වයං පෝෂිත දේශයක වඩා යහපත් වූ මිනිසුන් ලෙස ජීවත් වීමට දක්වන රුචිය; ප්‍රාර්ථනා; සිහින හෝ බලාපොරොත්තු පොදි බැඳගෙන අපි ජීවත් වෙමු. සිත උපන්න මේ සිහින දෙවියන් මුණගැසීමක්, දෙවියන් දැකීමක් හෝ දෙවියන් සමඟ ජීවත් වීමක් ලෙස සලකමු. මිනිසුන් විලස ජීවත් වීමේ දී අප ලබන කටුක වේදනාවන්, ජීවත්වීමේ අතෘප්තිය මඟහැර ගැනීමට ඇති දැඩි ඇල්ම යහපත් වූ බලාපොරොත්තුවකි. ‘දෙවියන්ගේ දූපත් හෙවත් ජී.ජී. අයිලන්ඩ්ස්’ නවකතාව කියවන පාඨක සිත් තුළ ස්වයං පෝෂිත දේශයක උතුරාගිය මිනිස්කම සහිතව ජීවත් වීමට ලැබීමේ වාසනාව, දෙවියන්ට සමීප වියහැකි වග රසවත්ව ගෙත්තම් කළ නව කතාවකි.
යෞවන දරුවන් පිරිසක් දික්වැල්ලෙන් දියඹට පිවිස යෙදෙන විනෝද චාරිකාව දෙවියන්ගේ දුපත් වෙත රැගෙන යන නොසිතූ විරූ මුහුදු ගමන නිමා වන්නේ ඔවුනට ම කියා ස්වර්ණ වර්ණ දූපතක ජීවත්වීමට භාග්‍ය උදාවීමෙනි. නිදහස් චින්තනයක් රෝපණය කිරීමට නම් නිදහස් සමාජයක් නිර්මාණය කළ යුතුය යන නවකතාවේ තේමාව බිහි වන්නේ එතැන් සිටය.
රෝහණ පී. මහලියනආරච්චි කතුවරයා ‘දෙවියන්ගේ දූපත්’ ගෙත්තම් කරන්නේ යෞවන නවකතා රීතිය ඔස්සේ ය. ආරම්භයේ යෞවනයන් පිරිසක් වටා ගෙත්තම් වුව ද මුහුදු සංචාරය සඳහා පැමිණි බෝට්ටු ගමන නතරවන්නේ මුහුකුරා වැඩුණු අත්දැකීම් බහුල වැඩිහිටියන් බිහිකළ නව සමාජයකට අඩිතාලම දමමිනි. හරිත පැහැයෙන් දිදුලන රම්‍ය දූපතකට පිවිසීම පාඨක කුතුහලය අවුස්සන්නකි. අප සැම ජීවත්වන ලෝකයේ තිබෙන විෂකූරු ගතිවලින් තොර මෙම කුඩා මිනිස් ඒකකය කියන ගැඹුරු දේශපාලන කතාව නම්, සාධාරණ ලෙස සැමදෙන දෙස බැලිය යුතු බව ය. මූලාරම්භයට වඩා කතාව කෙමෙන් සංකීර්ණ තලයකට ගමන් කළ ද ඒ සියලු සංකීර්ණතා ගෙත්තම් කරනුයේ සරල හෘදයාංගම භාෂා රීතියකිනි.
කටුක යථාවන් සුමට ලෙස දැක්වීමට තිබෙන බුහුටිකම කෘතිය සතු අපූර්වත්වයයි. එයට ආශක්තවන පාඨකයාට නව ලෝකයක නිදහස් චින්තනයක මිහිරියාව විඳගත හැකි යි.
අලුත් අස්වැන්නක් නෙළන ගොවියකු ලබන සතුටෙහි මිහිරියාවක් සේ පාඨකයාට දෙවියන්ගේ දූපත් කතාවේ සිදුවීම් හා අවසන් ඉලක්කයන් සරුසාර වී තිබේ. විශේෂයෙන් ලාංකීය සමාජයේ පාඨකයා ජීවත්වීම අරභයා ගෙවන පීඩාකාරී සමාජ අතවර හමුවේ සිහිනයෙන් හෝ මෙවැනි දූපතක වාසය කිරීමට වරම් ලැබේවා යන ප්‍රාර්ථනාව ‘දෙවියන්ගේ දූපත්’ කියවන සෑම පාඨක මනසකම තදින් රෝපණය වන හැඟීමකි.
කතා වින්‍යාසයේ ගැඹුර, ලගන්නා බස්වහර මඟින් පාඨකයා වෙත සමීප කරවන හෙයින්, මේ සිහින කොදෙව්ව පාඨක මනස තුළ විදාරණය වන ෆැන්ටසියාවක් කරා යොමුවන්නකි. එය පාඨකයන් කාගේත් ප්‍රාර්ථනා දේශය නොවේ දැයි යන හැඟීම ඇති කරවයි. සිහින හඹා යෑම, ඒවා ඉටුකර ගැනීමට ඇති ආශාව වඩා යහපත් වූ රටක් නිර්මාණය කිරීමේ දී අනුගමනය කළ යුතු විද්‍යාත්මක දැක්ම ද දෙවියන්ගේ දූපත් රාජ්‍ය දියුණුව කරා පියමැනීමට හේතු වී තිබේ. සරල නිදහස්කාමී මිනිස් ගති මඟින් වඩා යහපත් වූ දේශයක් නිර්මාණය කර ගැනීමට ඇති ආශාව නව කතාවේ ආත්මය බවට පත් වී තිබේ. වෙනස් ආකාරයේ කියවීමක් ලෙස ‘දෙවියන්ගේ දූපත්’ නවකතාව හඳුන්වා දිය හැකි ය.

සංගීතවිද්‍යා සංකථන

සංස්කරණය –
කෝලිත භානු දිසානායක
චිල්ටස් දයාවංශ
VAPA ප්‍රකාශනයක්.

මිල රු.350 /= වට්ටම 25%

ප්‍රමාණය මි.මි. 215 x  140 (ඩිමයි 1/8)
ඇතුළත ආදේශිත සුදු කඩදාසි 70gsm
පිටු 118 යි.
ISBN 978-624-5785-06-3
කෘතියේ බර 146g

සංගීතය සූක්‍ෂම කලාවකි. සංගීත භාවිතාවේ ඇති සියුම් න්‍යායාත්මක කරුණු ගැඹුරින් අධ්‍යනය කරන විට එහි භාවිත සියුම්කම් විද්‍යාත්මක ව හඳුනාගත හැකි ය. ඒ සඳහා සෛද්ධාන්තික සංගීත අධ්‍යනයක් අත්‍යවශ්‍ය වේ. සංගීත ලොව සම්මත සංගීත සම්ප්‍රදායන් ත්‍රිත්වය විමසුමට ලක්කරණ විට සංගීතවිද්‍යාව සතු සුක්ෂ්මතාවේ ප්‍රබලත්වය ගැඹුරින් හැඳින ගත හැකි ය.
මේ සඳහා නාද නිෂ්පත්තිය, නාද ආකෘතික ප්‍රස්තුතයන්, ගායන විධි, සංගීත මෙවලම් ආශ්‍රිත ශිල්ප විධි සහ සංගීත ව්‍යවහාරයන් පිළිබඳ ව විමසන විට ‘සංගීතවිද්‍යා සංකථන’ කෘතිය න්‍යායාත්මක අවබෝධය පිණිස ඉතා ප්‍රයෝජනවත් වන බව හඳුනාගත හැකි ය.
සිංහල මාධ්‍යයෙන් සංගීතවිද්‍යා විෂය න්‍යායාත්මක ප්‍රවර්ධනය පිණිස ශාස්ත්‍රිය පර්යේෂණ කෘති පළවන්නේ ඉතා අල්පවශයෙනි. මෙම ඌණතාව සංගීතවිද්‍යා විෂය ප්‍රාමාණිකව හදාරන්නන්ට විශාල ගැටලුවකි.
මහාචාර්ය කෝලිත භානු දිසානායක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චිල්ටස් දයාවංශ, සංගීත විද්වතුන් දෙපළ එක් ව සමිත සමරතුංගගේ සහය සංස්කරණයෙන් “සංගීතවිද්‍යා සංකථන” ශාස්ත්‍රිය පර්යේෂණ කෘතිය ඉදිරිපත් කිරීම සංගීතවිද්‍යා විෂය ප්‍රවර්ධනයට මනා දිරිදීමක් ලෙස හඳුන්වා දිය හැකිවන්නේ සංගීතවිද්‍යා න්‍යාය සම්පාදනයේ දී සිංහල මාධ්‍යයෙන් ප්‍රමාණවත් තරම් මූලාශ්‍ර කෘති නොමැතිකමෙනි.
‘සංගීතවිද්‍යා සංකථන’ කෘතිය ප්‍රධාන අංශ හතරක් යටතේ තොරතුරු ගෙනහැර දක්වයි.
පළමු අධ්‍යනය – උත්තර භාරතීය ශාස්ත්‍රිය සංගීතය පිළිබඳ ව ය. නාද නිෂ්පත්තිය, නාදමය ආකෘති, ගායන හා සංගීත භාණ්ඩ ආශ්‍රිත ශිල්ප, නාද, තාල, වෘත්ත හා මාත්‍රා භාවිතාව, මෙන් ම ප්‍රාසාංගික ධර්මතා හා ආචාරධර්ම සම්බන්ධව තොරතුරු ඉදිරිපත් කෙරෙයි.
දෙවන අධ්‍යනය – බටහිර ශාස්ත්‍රිය සංගීතය පිළිබඳ ව ය. එය ද පළමු උල්ලාසයේ ඇති තේමාවන් ඔස්සේ විමර්ශනය කෙරෙයි.
තෙවන අධ්‍යනය – කර්නාටක ශාස්ත්‍රිය සංගීත විෂය පිළිබඳ ව විමසුමකි. මේ විමසුමේ දී ද පළමු හා දෙවන උල්ලාසයන් මඟින් ඉදිරිපත් කෙරෙන විෂය ක්ෂේත්‍ර ඇසුරින් කළ විමසුමකි.
හතරවන අධ්‍යනය – සංගීත පද්ධතියක ශිල්පීයත්වය, අභිමානය හා ස්වාධිපත්‍ය උදෙසා න්‍යාය බලපාන අයුරු විමසුමට ලක් කිරීමකි. ඒ අනුව සංගීතය සූක්‍ෂම කලාවක් වන්නේ කෙසේදැයි යන තේමාව හඳුනාගත හැකි ය.
සංගීත විෂය හදාරන විශ්වවිද්‍යාලයීය හා උසස් අධ්‍යයන ආයතනවල විද්‍යාර්ථීන්ට, සංගීත ගුරුභවතුන්ට හා මෙම විෂයට ඇල්මක් ඇති සියලු රසික සද්ජනයාට සප්‍රයෝජනවත් කෘතියකි.

සියයක් මොමිජි පත්

නන්දන වීරසිංහ

VAPA ප්‍රකාශනයක්.

 

මිල රු.350/=  වට්ටම 25%

ප්‍රමාණය මි.මි. 200 x 145 (ක්‍රවුන් 1/8)

ඇතුළත ආදේශිත සුදු කඩදාසි, 80 gsm

ජැකට් කවර, පිටු 138යි.

ISBN 978-624-5785-01-8

කෘතියේ බර 174g

හයිකු කාව්‍ය පහළවීමට වසර දහසකට පමණ පෙර එනම්, හය වැනි සියවසේ අගභාගයේ සිට දාහතර වැනි සියවස දක්වා ජපානයේ ප්‍රචලිත ව පැවැති කාව්‍ය විලාසය ‘වකා’ හෙවත් ‘තන්කා’ කාව්‍ය සම්ප්‍රදාය යි. හයිකු කාව්‍ය මෙරට කවි රස විඳින්නන් අතර ඉමහත් ජනප්‍රිය කාව්‍ය විලාසයකි. එහෙත් වකා කාව්‍ය රීතිය යනු කුමක්දැයි නිශ්චිත අවබෝධයක් සිංහල කාව්‍ය රසවිඳින සහෘදයාට නොමැත.

සොම්නස, ප්‍රේමය, දුක, බිය, ශෝකය, බඳු සංවේදිතාවන් ප්‍රකට කරවීම අරමුණු කරගත් වකා කාව්‍ය ලාංකේය කාව්‍ය සම්ප්‍රදායයන් හා සමීප ය. ඒ මානව ගුණදහම් හා සොබාදහමේ ජීවන ලාලසාවන් අතර ඇති පොදු ගුණාංග ජපන් හා ලංකේය වශයෙන් වෙනස් නොවන හෙයිනි. රටවල් දෙකකි. භාෂා හා සංස්කෘතික වෙනස්කම් දෙකකි. එහෙත් මානව සංවේදිතා පොදු වූවකි. එහෙයින් වකා කාව්‍ය රීතින් මඟින් තනන කවිසමය සමීප ය. මෙතෙක් කලක් එය දුරාවබෝධ වූයේ, සිංහල මාධ්‍යයෙන් වකා කාව්‍ය ඇසුරු කිරීමට විධිමත් කෘතියක් නොමැතිකමෙනි.

සම්මානනීය කිවිවර නන්දන වීරසිංහ කවියාගේ කාව්‍ය පරිවර්තන දායාදයක් ලෙසින් ‘සියයක් මොමිජි පත්’ නමින් සම්භාව්‍ය වකා කාව්‍ය සියයක් රසවිඳීමේ අවස්ථාව උදාවී ඇත. දීර්ඝ පෙරවදනක් සහිතව සම්පාදිත සියයක් මොමිජි පත් මඟින් වකා කාව්‍ය ඉතිහාසය එහි විකාශනය හා කාව්‍ය සම්ප්‍රදාය සතු අනන්‍යතා ලක්ෂණ සිංහල පාඨක සමාජයට දැනගැනීමට අඟනා දොරටුවක් විවෘතකර තිබෙයි. එම දොරටුවෙන් පිවිස වකා කාව්‍ය සංස්කෘතික පරිසරය දිගේ ගමන් කරන මෙරට ආධුනික කවි රසිකයාට වකා යුගය හා එම කාව්‍ය ව්‍යාපාරය පිළිබඳවත්, එහි ගුණ සුවඳ මෙන්ම පාරිසරික වෙනස්කම්, යුග පෙරළි ආදියත් හඳුනාගත හැකි වෙයි. ඒ අවබෝධාත්මක මනසින් වකා කාව්‍ය සියයක රසයන් උකහා ගැනීමට හැකි ය. එය වත්මන් ලාංකේය වකා කවි රසවිඳින්නන්ට කළ කදිම ආරාධනයකි.  සෑම වකා කාව්‍ය ඉදිරිපත් කිරීමකින් පසුව එම කාව්‍ය රචකයා පිළිබඳ ව දක්වන පසුබිම් විස්තර ඔස්සේ වකා කාව්‍ය ගැඹුරින් රස විඳීමට අවස්ථාවක් උදාකරදීම ද මේ පරිවර්තනයේ විශේෂත්වයකි. අදාළ වකා කාව්‍ය රචකයා ජීවත් වූ යුගය, මෙන් ම එම වකා කාව්‍යකරුවාගේ පෞද්ගලික තොරතුරු සහ කවියට පමණක් නොව වකා නිමැවුම් යුගයට අදාළ ව ඔහුගේ මැඳිහත්වීම බඳු ඉතා අඟනා මුලාශ්‍ර වකා කවි සමය ඇසුරු කිරීමට නූතන සිංහල පාඨක සමාජය ලද අස්වැසිල්ලකි. සියයක් මොමිජි පත් එකවරක් කියවා රසවිඳ ඉවතලිය හැකි කාව්‍ය පරිවර්තනයක් නොවේ. එය වරින් වර යළි යළිත් කියවා රසවිඳීමට පාඨක කුහුල් සිත් පෙළඹවන උත්තේජකයකි. නන්දන වීරසිංහ කවියාගේ සියුම් කවි බසින් අලංකෘතව පරිවර්තිත වකා කාව්‍ය දැන් ඔබටත් රස විඳීමට හැකි ය.

වසන්තයෙ දවසක්

අඳුරට වැදෙන’යුරු දැක්මට

දැන්ම එන්නෙමි

චෙරිමල් පතිත වේ කඳුකර ගමේ

වෙහෙරකින් සැදෑ ඝණ්ටා නද පතිර යේ

පූජක නෝඉන්

කිතුවසින් 998 උපත ලද මේ වකා කවියා ගිහිකල ‘තචිබනා නො නගයුසු’ නමින් හැඳින්විය. රාජකීය වකා කාව්‍ය සංග්‍රහයේ හා පෞද්ගලික වකා කාව්‍ය සංග්‍රහයන්හි ඔහුගේ වකා කවි හමුවේ. මෙබඳු කවි කැකුළු සියයක් මේ කෘතියෙන් ඔබට නෙළාගත හැකි ය.

මෙලන්කොලියාව

මහේෂ් හපුගොඩ

ජයසිරි අලවත්ත

VAPA ප්‍රකාශනයක්.

 

මිල,  රු. 350/=  වට්ටම 25%

ප්‍රමාණය මි.මි.  200 x 125 (ක්‍රවුන් 1/8)

ඇතුළත ආදේශිත සුදු කඩදාසි, 80gsm

ජැකට් කවර, පිටු 166යි.

ISBN 978-624-5785-04-9

කෘතියේ බර 196g

“වෙනස්වීම සහ වෙනස්වීමට ඇති අකමැත්ත” විවාදාපන්න ය- එය පෞද්ගලික අරගලයක් නොව, සමාජ ගැටලුවකි. මෙකී ගැටලුවේ ගමන් මඟ වැටී ඇත්තේ සමාජ මතවාදයන් ඇසුරේ ය. වෙනස්වීම හෝ නොවීම අත්විඳින්නේ සමාජය විසිනි. මෙලෙසින් බලන කල වෙනස්වීම සහ වෙනස්වීමට ඇති අකමැත්ත වූ කලී සංස්කෘතික හෘදස්පන්දනය පිළිබිඹු කරන්නකි. යථෝක්ත පසුබිම අළලා කදිම මතවාදයක් ඉදිරිපත් වූයේ 2007 වසරේ දී ය. ස්ලාවෝ ජිජැක් විසින් උක්ත මතවාදය ‘මෙලන්කොලියාව’ නමින් ලොව හමුවේ පුපුරුවා හරින ලදි. මෙලන්කොලියානු මතවාදයේ තිඹිරිගෙය වූයේ ආසියාව ය. එහෙයින් ආසියානු මෙලන්කොලියාව පිළිබඳ ව ලාංකේය සමාජයට ද ප්‍රබල බලපෑමක් එල්ලවී ඇත. ජිජැක් පෙන්වාදෙන අයුරින් පැරැණි මිථ්‍යාමය ලෝකයෙන් මිදීමට නොහැකිවීම සමාජ ගැටලුවක ආරම්භයකි. එය කෙමෙන් මානව අධ්‍යාශය ගිලන්කරමින් ගොඩනඟන පසුබිම සමාජ පැවැත්මට සහ පුද්ගලයාගේ පැවැත්මට සෘජුව බලපාන සාධකයකි. මෙකී බලපෑමෙන් ගැළවීයාමට කිසිදු මානව පෞරුෂයකට නොහැකිවීම මෙම ගැටලුවේ බරපතළකම හෙළිදරව් කිරීමක්වේ.

ආසියාතික ගොවි ආත්මය ගොඩනැඟී ඇත්තේ අතීත සම්ප්‍රදායන් සමඟිනි. එම ගොවි ආත්මය ගිළගෙන තිබෙන නිද්‍රාවෙන් අවදිකරවීම අත්‍යාවශ්‍ය සමාජ ව්‍යාපාරයකි. මේ අරගලය හා බැඳුණු මතවාදයන් පිළිබඳ ව මහේෂ් හපුගොඩ හා ජයසිරි අලවත්ත මහත්වරුන් පුරෝගාමී මැදිහත්වීමක් සිදුකර තිබේ. ඒ ‘මෙලන්කොලියාව’ සාහිත්‍ය ලියවිල්ල මඟිනි. මේ කෘතියෙන් පුපුරුවා හරිනුලබන ලාංකේය මතවාද සරල තලයක සිට වඩා සංකීර්ණ අවදිය දක්වා පියවරින් පියවර මෙලන්කොලියාව පොත ආශ්‍රයෙන් සාකච්ඡා කරයි. භාවිත බස්වහර සරල ය. ඕනැම තරාතිරමක පාඨකයෙකුට කියවා වටහාගත හැකි ලෙස ඉදිරිපත් කිරීම ප්‍රශස්ථ ය. එසේ ම ගෙනහැර දක්වන කරුණු, ඒවාට බලපෑ සමාජ මුලාශ්‍ර මෙන්ම වත්මන් සමාජ නින්ද්‍රෝපාගත පරිසරය ගොඩනැඟීමට හේතු වූ වාස්තවික පසුතලය මෙයින් අධ්‍යනය කරයි. පාඨකයෙකු ලෙස කියවාගෙන යන විට තමා අතරමංවී සිටින මෙලන්කොලියානු තත්වය තිරස්ව හා සිරස් වටහාගැනීමේ අවකාශය සැලසෙයි.

මේ කෘතියේ දිගහැරුම අතීතයේ මෙලන්කොලික දරුනැලවිල්ලෙන් ආරම්භ වී, මනස නැමැති රික්තය ඔස්සේ වම්මු එකම කමිසය ඇඳීමේ යල් පැණගිය වම ආශ්‍රිතව සාකච්ඡාව දියත් කෙරෙයි. එහි දිගුවක් ලෙස පුරුෂලිංගය හිමි හෝ අහිමිවීම පිළිබඳ ව හිසේ විමුක්තිය ඔස්සේ සංවාදය තියුණු තලයට රැගෙන එයි. එහෙයින් සුරදූතිකාවෝ පවන්සලන තුරු බලා සිටීමේ ආදීනව වටහාගැනීමට අවකාශ සැලසෙයි. එහෙත් අප නිශ්ශබ්ද විය යුත් ද? ඒ පිළිබඳ ව විප්ලවීය ප්‍රචණ්ඩත්වය ද නැතිනම් ආදර ක්‍රියාවක් ද තෝරාගත යුත්තේ කියා ඔබ මැ තීරණය කළ යුතු ය. එයට දිරිදීමක් ලෙස ප්‍රබෝදයේ අපේක්ෂාව ඔස්සේ මෙලන්කොලියාවේ මතවාදයන් විමසුමට ලක්කිරීමට කතුවරු වෑයම් කරති. එම වෑයම කෙතරම් ඔබට අදාළවේදැයි විමසුම පිණිස මෙලන්කොලියාව කියවිය යුතුම ය.

හද බස සහ වෙනත් ලිපි

ආරියවංශ රණවීර

VAPA ප්‍රකාශනයක්.

 

මිල රු.600/=, වට්ටම 25%

ප්‍රමාණය මි.මි. 140X215 (ඩිමයි 1/8)

ඇතුළත ආදේශිත සුදු කඩදාසි, 80 gsm

ජැකට් කවර, පිටු 334 යි.

ISBN 978-624-5785-05-5

කෘතියේ බර 432g

සම්මානනීය ලේඛක කෘතහස්ථ සාහිත්‍යධර ආරියවංශ රණවීර මහතාගේ විමර්ශනාක්ෂිය ඔස්සේ රචිත කාව්‍යාත්මක එළඹුම් සමුදායක විමසුම් මෙකී කෘතියට සංග්‍රහ වී තිබේ. ජීවන ලාලසාවන් ඉක්මවා ගැඹුරු කියවීමක වටිනාකම නූතන කවි හිතැත්තන්ට හා සාහිත්‍යලෝලීන්ට සමීප කරවීමේ වෑයම ‘හද බස හා වෙනත් ලිපි’ සංග්‍රහයේ අරමුණ ය. එහෙයින්, සමාරම්භක සංවාද ඇරඹුම ලෙස ‘සොබා සත්තාව, මිනිසා හා ආදි ඉංග්‍රීසි කවිය’ ඇසුරු කිරීමට හැකි ය. සොබා සත්තාව පිළිබඳ සාහිත්‍ය මතවාද සංවාද හා නවමු සංකල්ප ජනගතවීම තවමත් අඛණ්ඩව සිදු වේ.

හද බස සහ වෙනත් ලිපි ඔස්සේ ආරියවංශ රණවීර මේ පිළිබඳ ව නඟන නවමු මතවාදය තියුණු ය. එහි දිගුවක් ලෙස කාව්‍ය පරිවර්තනයේ අවශ්‍යතාව හා ‘නව පර්යාලෝකනය,’ “කවියේ දාර්ශනික එළඹුම,” “හයිකු ගැන යළි කියවීම” ඔස්සේ සංවාදශීලිව හැදෑරීමට අත්වැල් සපයයි. මේ සමාරම්භක අධ්‍යයන හතර කියවන ඕනෑම පාඨකයෙකුට සිංහල නිදහස් කවිය සැබැවින්ම නිදහස්දැයි යන ගැටලුව ඇති කරයි. එයට කදිම පිළිතුරක් ලබා ගැනීමෙන් පසු, “අලංකාර වැල්ලේ ගිලීගිය සිංහල කවියේ සැබෑ මුහුණුවර” හැඳිනගත හැකි ය. අලංකාර වාදයෙන් ගැළවීමට තවමත් සිංහල කවියට නොහැකි වී ඇති වග කතුවරයා සනිදර්ශනාත්මක ව පෙන්වා දෙයි. බසෙහි අලංකාරය, උපමා රූපකාලංකාරය මෙන්ම කාව්‍ය ආකෘති ඒකාකාරී රූපක අලංකාර අතර සිංහල කවිය දෝලනයවීම නිසා එයට යාහැකි දුර පසෙකටලා එකතැන එක කණුපොළක ළැඟුම්ගැනීමට දක්වන රුචිය කතුවර විමසුමට ලක්කරයි. තවද, සංක්ෂිප්ත ගුණය, විදෙස් කවි සේවනය, අතර ජී. බී. සේනානයක කවිය වෙතට පාඨක විචාරක සැම කැඳවාගෙන යන්නේ මෙතෙක් පැවැති මතවාද සියල්ල පසෙකටලා ස්වාධීන ව කවිය අධ්‍යනය කිරීමට අත්වැල් සපයමිනි. නිසදැස් කාව්‍ය රීතිගේ පුරෝගාමී කවියා වු ජී. බී. සේනානායක පසුකර නිදහස් කවීන් කෙතෙක් දුර ගමන් කළ ද එහි නිරවද්‍යතා සම්බන්ධයෙන් පැන නඟින මතවාද මෙම ලිපිය ඔස්සේ ප්‍රශ්න කිරීම විශේෂිත ය.

නිර්මාණාවේශය හා කවියා යන විමසුමට එතැන් සිට පිවිසිය හැකි ය. එවිට අත්හළ දමා තිබෙන ‘විමලරත්න කුමාරගම කවියාගේ කේවල හඬ’ට ඇහුම්කන් දීමට හැකි වේ. ඒ සියල්ලට බලපෑ ප්‍රායෝගික විචාරයට අභියෝග කළ නව විචාරවාද, ඔස්සේ හද බස සොයායෑම ද මේ ලිපි මාලාවේ විශේෂිත අවස්ථාවකි. ඉණික්බිතිව ‘කවියෙකුගේ නවකතාවක්’ ඇසුරු කිරීමෙන් මෙතෙක් ඔබට මුණ නොගැසුණු ඩොක්ටර් ෂිවාගෝ හැඳින ගැනීමේ භාග්‍ය උදාවෙයි. ඩොක්ටර් ෂිවාගෝ තවමත් නොවිසඳුණු රහසක් ව පැවැතීමට හේතු රණවීර සාහිත්‍යවේදියා පෙළින් පෙළට පෙන්වා දෙයි.

කවිය හා කාව්‍ය මතවාද රැසක් කදිම විග්‍රහයන් සමඟින් ඇසුරුකිරීමට ද ආධාරදෙන ශාස්ත්‍රිය කෘතියක් ලෙස ආරියවංශ රණවීරගේ “හද බස හා වෙනත් ලිපි” හඳුන්වා දිය හැකි ය.

සිංහල වන්නම් කලාව

සමන් කුමාරතුංග

VAPA ප්‍රකාශනයක්.

මිල රු.950/=, වට්ටම 25%

ප්‍රමාණය මි.මි. 140X215 (ඩිමයි 1/8)

ඇතුළත ආදේශිත සුදු කඩදාසි 80 gsm

ජැකට් කවර, සෙක්ෂන් මැස්ම, පිටු 502 යි.

ISBN 978-624-5785-03-2

කෘතියේ බර 708g

සිංහල වන්නම් කලාව ශ්‍රී ලාංකේය කලා ශානරයක් නියෝජනය කරන සංස්කෘතික උරුමයකි. වන්නම් යැයි කියූ සැණින් සැමදෙනාගේ මතකයට නැඟෙන්නේ දහඅට වන්නම් ය. එය එක් වන්නම් කලා උරුමයක් බව හඳුනාගැනීමට නම් මෙරටට අනන්‍ය වු වන්නම් කලා පිළිබඳ ව නිරවුල් වැටහීමක් තිබිය යුතු ය.

සිංහල වන්නම් කලාව ප්‍රධාන ශාඛා හතරක් ඔස්සේ විකාශනය වූවකි. උඩරට වන්නම්, පහතරට සිංදු වන්නම් දෙතිස, සබරගමු වන්නම් පණහ සහ රජරට එක්විසි වන්නම එයට අදාළ වේ. ඒ අතර තවත් වන්නම් රැසක් පළාත්බද උරුමයන් ලෙස භාවිත වේ. ඒ වන්නම් හඳුනාගැනීමට විවිධ ජනශ්‍රැති පර්යේෂකයින් හා කලා විචාරකයින් වරින් වර උත්සාහයන් දරා තිබේ. උඩරට සංගීතය, පුරාණ කඹේ නැටීමේ සිංදුව, සිංහල වන්නම්, පැරැණි වන්නම්, නෘත්‍ය රත්නාකරය, නෘත්‍ය විනෝදය, හා දහඅට වන්නම් ලේඛන සාහිත්‍ය කෘති මෙයට නිදසුන් වේ. මෙලෙස පළින් පළ ශාස්ත්‍රිය සාකච්ඡා සම්මන්ත්‍රණ හා වැඩමුළු මඟින් ද උක්ත තේමාව සම්බන්ධයේ කථිකාවන් සිදු කළ ද තවමත් අප්‍රකටව පවත්නා සිංහල වන්නම් රැසක් පරම්පරා හිමිකම් ලෙස පවතී. අස්පර්ශනීය උරුමයක් ලෙස පැතිරුණු මෙම අප්‍රකට සිංහල වන්නම් ශාස්ත්‍රිය ලෙස එක්රැස් කිරීම, නිරවුල් ලෙස ලේඛනගත කිරීම ජාතික අවශ්‍යතාවකි. එයට උරදෙමින් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයීය සබරගමු නර්තන අධ්‍යයනාංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් කුමාරතුංග මහතා ‘සිංහල වන්නම් කලාව’ නමින් උඩරට, පහතරට, සබරගමු වන්නම් ඉතිහාසය ගීත සාහිත්‍ය විචාරය සමඟ සබරගමු වන්නම් පණහ එක් කෘතියකට සංග්‍රහකර තිබෙයි.

පරිච්ජේද හතක් ඔස්සේ පර්යේෂණාත්මක මූලාශ්‍ර ආශ්‍රයෙන් වන්නම් පිළිබඳ ව විග්‍රහයක යෙදෙන කතුවරයා, වන්නම් අර්ථ විවරණ, වර්ණ හා වර්ණනා, ධ්වනි, ඡන්දස්, තනු, ඔස්සේ තොරතුරු පාඨකයා වෙත සමීප කරවනු ලබන්නේ, අප්‍රකට ව පවතින වන්නම් පිළිබඳ ව තොරතුරු ශාස්ත්‍රිය ලෙස ගෙනහැර දක්වමිනි. පළමු උල්ලාසය යටතේ පියවරෙන් පියවර පාඨක . විචාරක ආකර්ෂණය දිනාගනිමින් වන්නම් අර්ථ විමසුමක යෙදෙයි. ඉණික්බිති ව, දෙවන උල්ලාසයෙන්, වර්ණනා කාව්‍යයේ විකාසනය දක්වන්නේ, දහම් වර්ණනාවේ සිට සින්දු බලපෑමට ලක්වූ අවදිය ද භාරතීය හා සීතාවක යුගවල දී ඇති වූ වෙනස්කම් සමඟ සන්සන්දනය කරමිනි. එහෙයින්, දිග්ගේ නර්තනයේ ස්වරූපය මෙන් ම මහනුවර කවිකාර මඩුවේ යථාව කදිමට ගෙන හැර දක්වා සිටියි.

තෙවන උල්ලාසය, වන්නම් කලාවට පසුබිම් වූ ප්‍රශස්ති කාව්‍ය වෙතට යොමුකර ඇත. සිව්වැන්න මේ කෘතියට අනන්‍ය වූවකි. සබරගමු වන්නම් පණහ මෙහි දී දිර්ඝ ලෙස විස්තර කෙරෙයි. පස්වැන්නෙන් උඩරට වන්නම් කලාව ද අප්‍රකට මූලාශ්‍ර සමුදායක වගවිත්ති ද හඳුනාගත හැකි ය. සයවැනි උල්ලාසය මඟින් පහතරට සිංදු වන්නම් දෙතිස පිළිබඳ විග්‍රහයකි. සත්වැනි උල්ලාසය රජරට එක්විසි වන්නම වෙත යොමු කර තිබේ. එසේම, උපග්‍රන්ථය ඉතා දිර්ඝ වූවකි. වන්නම් කලාව පිළිබඳ ව මෙතෙක් සංග්‍රහ නොවු අප්‍රකට වන්නම් රැසක් සවිස්තර වාර්තා එයට ඇතුළත් වේ. නර්තන විෂය හදාරන විද්‍යාර්ථින්ට ගුරුවරුන්ට මෙන් ම පර්යේෂකයින්ට ද අත්පොතක් බඳු ‘සිංහල වන්නම් කලාව’ අස්පර්ශනීය ජන උරුම සංරක්ෂණයකි.

සිංහල ජන ගායන ශෛලී

ආචාර්ය සමන් පනාපිටිය

VAPA ප්‍රකාශනයක්

මිල රු. 1800/=, වට්ටම 25%

ප්‍රමාණය මි.මි. 175X250 (ක්‍රවුන් 1/4)

ඇතුළත ආදේශිත සුදු කඩදාසි – 80 gsm

ඝන කාඩ්බෝඩ් පිටකවරය, රෙක්සින් බැම්ම.

ජැකට් කවර, පිටු 326 යි.

ISBN 978-624-5785-00-1

කෘතියේ බර 858g

සිංහල ජන ගායනා පිළිබඳ විධිමත් සහ ශාස්ත්‍රිය පර්යේෂණ සිදුවන්නේ මන්දගාමී ලෙස ය. මේ විෂය ක්ෂේත්‍රය ජනප්‍රිය වී ඇති තරමට ගැඹුරු ශාස්ත්‍රිය අධ්‍යනයන් අඩුකම නිසා විවිධ දුර්මත හා ශාස්ත්‍රිය පදනමකින් තොර මතවාදයන්ගෙන් ගහණ වී ඇත. එය අලුතින් විෂය හදාරන විද්‍යාර්ථින්ට මෙන්ම විෂය තුලනාත්මකව ගවේෂණය කරන ජන ගායනා පර්යේෂකයින්ට මුහුණ දීමට සිදුවී ඇති ප්‍රබල ගැටලුවකි. මේ වන විට සිංහල ජන ගායනා පිළිබඳ ව පිළිගත හැකි උසස් ගණයේ ශාස්ත්‍රිය පර්යේෂණ කෘති බිහි වී ඇත්නම් එය දෑතේ ඇඟිලි ගණනටත් අඩු තරම් ය. ජන ගායන විෂය මුහුණ දී තිබෙන ශාස්ත්‍රිය ඌණතාවයේ තරම හඳුනා ගැනීමට එය කදිම නිදසුනකි.

ආචාර්ය සමන් පනාපිටිය මහතා, වත්මන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයීය සංගීත පීඨයේ පීඨාධිපතිවරයා ය. ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධය ‘සිංහල ජන ගායන ශෛලී’ නමින් එළි දක්වා ඇත. එය ‘වාපා ප්‍රකාශන’ ඒකකයේ පළමු පර්යේෂණ කෘතිය වේ.

ප්‍රධාන පරිච්ජේදයන් එකොළහක් යටතේ මේ කෘතියේ පර්යේෂණ දේහය ගොඩ නඟා තිබේ. ජන ගායන ශෛලිය අනුව එකී ජන ගායන විශේෂයන් හඳුනාගත යුතු බව මේ පර්යේෂණ කෘතිය මඟින් විද්‍යාත්මක ලෙස හඳුන්වා දී ඇත.

ගද්‍ය හා සැහැලි ගායන ශෛලිය, සීපද ගායන ශෛලිය, නෙළුම් ගායන ශෛලිය, නැළවිලි ගායන ශෛලිය, වැලපුම් ගී ගායන ශෛලිය, අඬහැර ගායන ශෛලිය, කෙළි ගී ගායන ශෛලිය, බැති ගී, කවිතාල හා සාහිත්‍ය ග්‍රන්ථවල ඇතුළත් ගායන ශෛලිය, ජන නාට්‍ය, ජන නැටුම් හා සවුදම් ගායන ශෛලිය, ශාන්තිකර්ම ගායන ශෛලිය, හා වන්නම්, ප්‍රශස්ති, හටන් කවි හා සිංදු ගායන ශෛලිය පිළිබඳ ව ප්‍රමාණික අවබෝධයක් ලබා ගත හැකි ලෙස ශාස්ත්‍රිය මුලාශ්‍ර ඔස්සේ පර්යේෂණ කෘතියේ විෂයධාරාව දිගහැරෙයි.

දැනට භාවිත ජන ගායනා සහ නිර්මාණය කරන ලද නූතන ජන ගායනා අතර වෙනස්කම් ශාස්ත්‍රිය වශයෙන් හඳුනා ගැනීමට මේ කෘතිය මහෝපකාරී වේ. පාසැල් ගුරුවරයාගේ සිට විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථියා දක්වා ම ගොඩනැඟී ඇති දුර්මත ඛණ්ඩනය කර නිවැරදි මූලාශ්‍රයන් හඳුනාගැනීමට මේ පර්යේෂණය අත්පොතක් වේ.

සෑම පර්යේෂණ පුස්තකාලයක් සතුව ම ‘සිංහල ජන ගායන ශෛලී’ කෘතිය තිබේ නම් එය අනාගත විද්‍යාර්ථින්ට නිවැරදි මඟපෙන්වාදීමකි.